පියාසැරිය

Sunday, February 28, 2010

නේටෝ ප්‍රහාර වලින් සිවිල් වැසියන් මරුට

ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සිවිල් වැසියන් රැගත් රථ පෙලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන්, ළමුන් ඇතුළු 27 දෙනෙක් මියගොස් අතැයි ඇෆ්ගන් බලධාරිහු පවසති.

දකුණු ඇෆ්ගනිස්තානයේ උරුගන් ප්‍රාන්තයේදී ප්‍රධාන පාරක ගමන් කළ රථ 3කට එල්ල කළ මේ ජෙට් ප්‍රහාරය කිසි සේත් සාධාරණීකරණය කළ නොහැකි බව ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සෙමාරයි බශාරි කළ නිවේදනයකින් පැවසිණි.

ප්‍රහාරයෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති අතර මියගිය අය අතර කාන්තාවන් 4 දෙනෙක් සහ ළමුන් කිහිප දෙනෙක් ද සිටින බව කියැවේ. පසුගිය සතිය තුල පමණක් නේටෝ හමුදා අතින් මියගිය සිවිල් වැසියන් ගණන 60 ඉක්මවා ඇත.
ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවල අණදෙන නිලධාරී, ඇමෙරිකානු ජෙනරාල් ස්ටැන්ලි මැක්ක්‍රිස්ට්ල් පැවසුවේ කන්දහාර් සිට ද'කුන්දි දක්වා ගමන් කළ මේ රථ පෙල සන්නද්ධ කණ්ඩායමක් ලෙස වරදවා වටහා ගත් බවත් මේ වැරදීමෙන් සිදුවූ හානිය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ය.
"අප මෙහි සිටින්නේ ඇෆ්ගන් ජනතාව රැක ගැනීමටයි. මෙවන් අනතුරු නිසා සිදු වන්නේ අපේ අරමුණ කෙරෙහි සිවිල් ජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමයි. මින්පසු මෙවැනි දේ සිදු නොවීමට දෙගුණයක් කල්පනාවෙන් කටයුතු කරනවා" ඔහු තවදුරටත් පවසා ඇත.
මේ ප්‍රාන්තයට අසල්වැසි හෙල්මන්ඩ් දිස්ත්‍රික්කයේ මර්ජාහ් හි ඇෆ්ගන්, නේටෝ හා ඇමෙරිකානු හමුදා වලින් සැදුම් ලත් 15000කට අධික සෙබල බල මුළුවක් තලේබාන් කොටස් පළවා හැරීම පිණිස දරුණු සටන් වල නි‍යැලී සිටිති.

ලෝක සිති‍යමේ ඇෆ්ගනිස්තානය තියෙන්නෙ මෙන්න මෙතන:

වැදගත් සබැඳි

ලිපියේ මූලාශ්‍ර



EAVB_QSNEWCBOWI

ඉතිරිය කියවන්න...

Friday, February 26, 2010

අරාබි කාන්තාවන්ට නඩු කියන්ට අවසර


සවුදි අරාබියේ නීතිඥවරියන්ට උසාවිවල නඩු ඇසීමේ වරම් හිමිවෙලා. මේ අළුත් නීතියට අනුව කාන්තා නීතිඥවරියන්ට උසාවියේදී විවාහය, දික්කසාදය ආදී පවුල් ප්‍රශ්න සම්බන්ධ නඩු විභාගවලදී වෙනත් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ලැබිල තියෙනවා.

පුරුෂ ආධිපත්‍යයකින් යුතු අරාබි නීතියට අනුව තමන්ට අදාළ නැති පුරුෂයින් සමග අරාබි කාන්තාවක් හැසිරීම දැඩි වරදක්. ඔවුන් සියලු දෙනා ප්‍රසිද්ධ ස්ථානවලදී තම සිරුර ආවරණය කරගෙන සිටිය යුතුයි. ඔවුන්ට වාහන පදවාගෙන යන්න දෙන්නෙ නැහැ. කොටින්ම වයස 45ට අඩු කාන්තාවක් නම් ගෙදරින් පිට කොහේ ගියත් තමන්ගෙ භාරකාර පුරුෂයගෙන් අවසරය අරගෙන තමයි යන්න ඕන.

මෙතෙක් කල් අරාබි නීතිඥවරියන්ට වැඩ කරන්න සිදුවුණේ රජයේ කාන්තා අංශයේ සහ වෙනත් උසාවි කාර්යාලවල විතරයි. මෙහෙම කරල තිබුණෙ ඔවුන්ව අනිත් පිරිමි සමග ගැටීම අවම කරගන්න. දැන් සවුදි රජය විසින් කාන්තාවන්ටම වැඩ කරන්න කියල පවුල් උසාවි ක්‍රමයකුත් ඇති කරන්න යනව කියලයි ආරංචිය.

මේ පියවර අරං තියෙන්නේ සවුදියේ නායක අබ්දුල්ලා රජු විසින්. මේ දවස්වල ඔහු අරාබි නීති ලිහිල් කිරීමේ වෑයමක නිරත වෙලා ඉන්නව කියලයි කියන්නෙ. ගිය අවුරුද්දෙ පිරිමින්ටත් කාන්තාවන්ටත් දෙගොල්ලොන්ටම ඉගෙන ගන්න පුළුවන් තාක්ෂණ විශ්වවිද්‍යාලයක් සවුදියෙ බිහිවුණා. මේ වෙනකොට නම් තනියම ගිහින් තානායමක වගේ තැනක හැසිරෙන්න වුණත් කාන්තාවන්ට පුළුවන්ලු. හැබැයි අරාබියෙ ගොඩක් දැඩි ආගමික මත දරන පිරිස් මේ වෙනසට කැමති නැහැ.

ලෝක සිතියමේ සවුදි අරාබිය ‍තියෙන්නෙ මෙන්න මෙතන:



වැදගත් සබැඳි:

ඉතිරිය කියවන්න...

Monday, February 22, 2010

පයිලට්ලා වැඩ වර්ජනයක


අපි හිතං ඉන්නෙ ලංකාවෙ ප්‍රයිවට් බස් විතරයි වර්ජනය කරන්නෙ කියලනෙ. දැන් බලාගෙන යනකොට වැඩ වර්ජන අපිට ආවේණික දෙයක් නෙවෙයි. ජර්මනියෙ ප්‍රධානතම ගුවන් සේවය වන ලුෆ්තන්සා (Lufthansa) සේවයේ රා‍ජකාරි කරන ගුවන් නියමුවන් 4000කට අධික පිරිසක් අද (22 සඳුදා) ඉඳං වැඩවර්ජනයක් පටන් අරගෙන.


ලුෆ්තන්සා කියන්නෙ ලෝකෙ තියෙන ප්‍රධානතම ගුවන්සේවා කිහිපයකින් එකක්. මේ දින හතරක වැඩ වර්ජනය නිසා ලෝකය පුරා ගුවන් ගමන් සේවා අඩාල ‍වීමේ ඉඩක් පවතිනව කියලයි කියන්නෙ. ගුවන් සේවයටත් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක පමණ පාඩුවක් වෙන විදියයි.

වැඩවර්ජනයට මූලික හේතුව වෙලා තියෙන්නෙ පඩිනඩි පිළිබඳව ගුවන්සේවයත් ගුවන් නියමු සේවක සංගමයත් අතර ඇතිවෙච්ච සාකච්ඡා අසාර්ථක වීම. ළඟදි ලුෆ්තන්සා ගුවන් සේවය පොඩි පොඩි ගුවන් සේවා කීපයක්ම තමන්ගෙ යටතට ගත්තා. මේ නිසා තමන්ගෙ රැකියාවේ සුරක්ෂිතබවට පහරක් එල්ල වෙලා තියෙන බවත් ඒ සංගමය කියනවා.

කොහොමවුණත් වර්ජනය නිසා මගීන්ට ඇතිවෙන අපහසුතාව අවම කරන්න සීමාසහිත ගුවන් ගමන් වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න සංගමය පියවර අරගෙන තියෙනවා. කරදරයට පත්වෙච්ච මගීන් බ්ලොග් සහ ට්වීට් මගින් ‍ගුවන්‍ සේවයට දැඩි ලෙස දෝෂාරෝපණය කරල තියෙනව කියලයි ආරංචිය.



ලෝක සිති‍යමේ ජර්මනිය තියෙන්නෙ මෙන්න මෙතන (තද කොළ පැහැති ප්‍රදේශය):



වැදගත් සබැඳි


ඉතිරිය කියවන්න...

Friday, February 19, 2010

හමුදා කුමන්ත්‍රණයකින් ජනපති අත්අඩංගුවට


අප්‍රිකානු රටක් වන නයිජර්හි හමුදා කුමන්ත්‍රණයකින් එහේ ජනාධිපති මමදෝ තන්ජා (Mamadou Tandja) අත්අඩංගුවට අරගෙන. ඊයේ (පෙබරවාරි 18 – බ්‍රහස්පතින්දා) සිදුවෙච්ච මේ කුමන්ත්‍රණයෙන් පස්සෙ නයිජර් රාජ්‍යය දැන් තියෙන්නෙ හමුදා පාලනයක් යටතෙ.

මෙහෙයුම ක්‍රියාත්මක වෙන විට ජනාධිපතියි රජයෙ උසස් නිලධාරීනුයි ජනාධිපති මන්දිරයෙ සාකච්ඡාවක ඉඳල තියෙන්නෙ. නයිජර්වල අගනුවර වන නියාමේ (Niamey) තුළින් දරුණු වෙඩි හුවමාරු සහ පිපිරීම් කීපයක සද්දත් ඇහිල තියෙනවා. සිද්ධියෙන් පස්සෙ ජනාධිපති හිර කරගෙන ඉන්න තැන ගැන තාමත් හරියටම ආරංචියක් නැහැ.

යුරේනියම් නිධි බහුල රටක් වුණාට නයිජර් කියන්නෙ ලෝකෙ දුප්පත්ම රටවල් අතරින් එකක්. හමුදා පාලන කියන්නෙ එහාට අළුත් දෙයක් නෙවෙයි. 1960 දි ප්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස ලබපු දවසෙ ඉඳල අවස්ථා 3කදි මෙහේ හමුදා පාලන තිබිල තියෙනව. මෙතෙක් දවස් හිටපු ජනාධිපති තන්ජා 1999 දි තනතුරට පත්වෙලා 2004 මැතිවරණෙදි නැවතත් ජයග්‍රහණය කරපු කෙනෙක්.

දැන් නයිජර් පාලනය අතර අරගෙන තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇතිකිරීමේ කවුන්සිලය (Supreme Council for the Restoration of Democracy – CSRD) කියල සංවිධානයක්. හමුදා ප්‍රධානීන් වට කරගෙන රූපවාහිනියෙ පෙනී සිටපු ඒකෙ නායකය සන්සුන්ව ඉන්න කියල රටේ ජනතාවගෙන් ඉල්ලල. නයිජර් ප්‍රජාතන්ත්‍රවාදයත් යහ පාලනයත් ඇති රටක් විදියට පාලනය කිරීම තමන්ගෙ අරමුණ කියලයි ඔහු කියන්නෙ. මීට අමතරව නයිජර් ව්‍යවස්ථාව තාවකාලිකව අත්හිටුවල තියෙන බවත් සියලුම රාජ්‍ය ආයතන නැවත දැනුම් දෙන තුරු වහල තියෙන බවත් ඔහුගෙ කතාවෙදි කියවිලා.


ලෝක සිතියමේ නයිජර් තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:

ඉතිරිය කියවන්න...

Saturday, February 13, 2010

ඇමේසන් වන මැද ජල විදුලි වේල්ලට බ්‍රසීලයෙන් අවසර

පරිසර හිතකාමීන්ගේත් ස්වදේශික ජන නායකයන්ගේත් විරෝධතා මධ්‍යයේ, ඇමේසන් වැසි වනාන්තරය තුළ, ලොව තෙවන විශාලතම, ජල විදුලිය සඳහා නිමවෙන වේල්ල ඉදිකිරීමට බ්‍රසීල රජය අවසර දීලා.

මෙගාවොට් 11000ක ධාරිතාවකින් යුතුව පැරා ප්‍රාන්තයේ ෂින්ගු ගඟ හරස් කෙරෙමින් මේ 'බෙලො මොන්ටේ' වේල්ල ඉදි කෙරෙන්නේ, සීඝ්‍රයෙන් වැඩි වන බලශක්ති ඉල්ලුම සපුරා ලීමටයි. ගණනය කර ඇති අන්දමට මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඩොලර් බිලියන 17ක්.

මේ වේල්ල නිසා වර්ග කිලෝමීටර 250ක භූමි භාගයක් ජලයෙන් යටවෙනවා. පරිසර වේදීන් කියන්නේ මේ ගංවතුර නිසා ඇමේසන් වනයේ සංවේදී පරිසර පද්ධති වලට, මත්ස්‍ය හා වෙනත් ජලජ ජීවින්ට, ජෛව විවිධත්වයට තර්ජනයක් ඇතිවන බවයි.
ස්වදේශික නායකයින් කියන්නේ මෙ මගින් තම පාරම්පරික ගෝත්‍රවල ජීවනෝපායයන් ඇහිරී, දිවි පැවත්මට බාධා වී තමන්ට යන එන මං නැති වනු ඇති බවයි.

නමුත් බ්‍රසීල පරිසර අමාත්‍ය කාලෝස් මින්ක් කියන හැටියට එම භූමියේ වර්ග කිලෝ මීටර 48ක් විතර කොහොමත් වාර්ෂිකව වැසි කාලෙට ජලයෙන් යට වෙනවා. ඒ වගේම සිදුවන පරිසර හානිය අවම කිරීමට ව්‍යාපෘතිය භාරගන්නා සමාගම බැඳී සිටිනවා. මෙනිසා අවතැන් වන ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමටත්, ආවේණික සංස්කෘතීන් රැක ගැනීමටත්, ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් ඩොලර් මිලියන 803ක් ඔවුන් විසින් වියදම් කිරීමට ගිවිසගෙන සිටිනවා.

ලෝක සිතියමේ ඇමේසන් වනය සහ බ්‍රසීලය පිහිටා තියෙන්නේ මෙන්න මෙහෙම:





වැදගත් සබැඳි:

ලිපියේ මූලාශ්‍ර:

ඉතිරිය කියවන්න...

Friday, February 12, 2010

හිම කතරේ තීරණාත්මක සති දෙකක උදාව

සෑම අවුරුදු හතරකටම වරක් පැවැත්වෙන ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය (Winter Olympic Games) මෙවර කැනඩාවේ වැන්කුවර් (Vancouver) නගරයේ 12වැනි සිකුරාදා ෆැසිෆික් වේලාවට අනුව සවස 6:00ට ( එනම් ලංකාවේ සෙනසුරාදා උදෑසන 06:30ට) කැනඩාවේ ආණ්ඩුකාරවරිය වන මිචෙල් ජේන්ගේ (Michaëlle Jean) අතින් ආරම්භ වෙනවා. පුරා දවස් 16ක් තිස්සේ වැන්කුවර්හි BC Place Stadium නම් ක්‍රීඩාංගනයේත්, රිචමන්ඩ් (Richmond) නගරයේත් හා සාත්කාර නගරය වන විස්ටලර්හීත් (Whistler) පැවැත්වෙන මේ තරඟාවලියේ රටවල් 82කින් දළ වංශයෙන් ක්‍රීඩකයන් 5,550 ක ප්‍රමාණයක් ක්‍රීඩා 7ක් ඉසව් 86කට පමණ සහභාගි වෙනවා.


ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ ක්‍රීඩා බොහොමයක් අයිස් හා හිම ආශ්‍රිත කරන ඒවායි. ඒ අතරින් අයිස් හොකී, Biathlon, Cross‑country skiing, Freestyle skiing, Ski jumping, Snowboarding, Speed skating වැනි ක්‍රීඩා වලට තරඟකාරීත්වයෙන් යුතුව ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. මේ ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය මුළින් පැවැත්වුණේ 1924 වසරේදී ප්‍රංශයේ චාමෝනික්ස් ( Chamonix ) නගරේදී වන අතර දෙවන ලෝක යුද්ධය නිසා 1940 හා 1944 වසර දෙකේදී පැවැත්වුණේ නෑ. 1988දී කාල්ගී ( Calgary) හි පැවැත්වුණු 15වැනි උළෙලට පසුව කැනඩාව මේ දෙවැනිවරටත් සංවිධානය කරන්නේ විසි එක්වැනි ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියයි.

රතු ඉන්දියානු හා දේශිය ලංක්ෂණයට තැනක් ලබා දෙමින් මෙවර ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ සංකේතය ලෙස Ilanaaq පිළිමය (Ilanaaq යනු කැනඩාවේ දේශිය එක්සීමෝ භාෂාවක් වන Inukitutට අනුව මිත්‍රයා යන්න අදහස් කෙරෙන්නකි) යොදා ගැනෙන අතර තරඟාවලියේ සුරතලුන් ලෙස Miga, Quatchi, Sumi, හා Mukmuk නම් සිව් දෙනෙක් නම් කර තිබෙයි. එම සිවි දෙනාත් කැනඩාවේ මුල් ස්වදේශ ජාතිකයන්ගේ සංකල්පයකි.

මේ ශිත සෘතු තරඟාවලිය සඳහා ලංකාව සහභාගි නොවුවත් අපේ අසල්වැසියන් වන ඉන්දියාව (තරඟ 3ක්) , නේපාලය (තරඟ 2) හා පකිස්ථානය (තරඟ 1ක්) තරඟවැදීමට නියමිත අතර සාක් කලාපයට අභිමානයක් ඔවුන්ට ගෙන හැකි වෙතැයි පතමු.


ලෝක සිතියමේ කැනඩාවේ වැන්කුවර් නගරය පිහිටා ඇත්තේ මෙතැනයි :
(BC Place ක්‍රිඩාංගනයද රූපයේ දැක්වේ)


2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ නිල සුරතලුන් :


 

සබැඳි :
ශිත සෘතු ඔලිම්පික් තරඟාවලි
2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය
මෙවර ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියට සහභාගි වන රටවල්

2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ නිළ වෙබ් අඩවිය


EAVB_VPEDCEQYEM
ඉතිරිය කියවන්න...

Thursday, February 11, 2010

ඉරානය ජීමේල් තහනම් කරයි



ඉරාන රජය තමන්ගෙ රටේ ජීමේල් (Gmail) භාවිතය තහනම් කරල. මේක ප්‍රකාශයට පත්කරපු ඉරාන විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කියල තියන විදියට ඒ ගොල්ලො තමන්ගෙම කියල ජාතික විද්‍යුත් තැපැල් සේවයක් අඳුන්වල දෙන්නයි හදන්නෙ.

අද (පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා) තමයි ඉරාන විප්ලවයේ 31 වැනි සංවත්සය යෙදිල තියෙන්නෙ. මේක නිමිති කරගෙන ඉරාන රජයේ දූෂණවලට විරෝධතාව දක්වන්න රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කරල තියෙන බවයි ආරංචිය. මේව මැඩපවත්වන්න රට පුරා ආරක්ෂාව තර කරල තියෙන වෙලාවක තමයි මේ තහනම සිදු කරල තියෙන්නෙ. මීට අමතරව අන්තර්ජාල සහ කෙටි පණිවුඩ සේවා විටින් විට අඩාල වෙන බවටත් ඉරානය පුරා ජනතාවගෙන් මැසිවිලි නැගෙනව.

පසුගිය වසරෙ ඉරාන ජනාධිපතිවරණයෙ සිදුවුණයි කියන දූෂණ ගැන ලෝකෙට කියපු ප්‍රධාන මාර්ගයක් වුණේ ට්විටරය. #iranelection හෑෂ් ටැගය යොදාගෙන ඉරාන ජාතිකයන් කරපු වික්‍රමය නිසා ඉරාන රජය සයිබර් අවකාශය තමන්ගෙ ලොකුම හතුර බව තේරුම් අරගත්තු බවකුයි පේන්නෙ. මේ නිසා දිගින් දිගටම twitter, facebook වැනි සමාජ ජාල තහනම් කරන්න ඔවුන් පියවර ගත්ත. ජීමේල් තහනමත් මේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක්.

ජීමේල් කියන්නෙ ඉරාන තරුණ පරපුර අතරෙ ඉතාම ජනප්‍රිය සේවාවක්. අනෙක මේ ගූගල් සේවාව ලෝකය පුරාම ජනතාවට එදිනෙදා ජීවිතේට නැතිවම බැරි අංගයක් කරගෙන ඉවරයි. මේ පියවර නිසා ජනතාවගෙ රජය ගැන තියෙන ආකල්පය තව දුරටත් පළුදු වෙන එක තමයි වෙන්නෙ. චීන රජය මේ දවස්වල අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙනියන ප්‍රතිපත්තිත් මේකට බොහොම සමාන ආකාරයක් ගන්නව.

ලංකාවටත් මේ රෝගය බෝ නොවේවා කියල ප්‍රාර්ථනා කරන එක තමයි ඉතින් අපට කරන්න තියෙන්නෙ.

ලෝක සිතියමේ ඉරානය තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:



ඉතිරිය කියවන්න...