පියාසැරිය

Monday, January 25, 2010

ඈන් ෆ්‍රෑන්ක් ගේ කතාව රැක ගත් මීප් ගීස් මිය යයි

දෙවන ලෝක යුද සමයේ ඇම්ස්ට්‍රඩෑම් නගරයේ විසූ මීප් ගීස් නමැති ඕලන්ද ජාතික ගෘහණිය නොසිටින්නට ඈන් ෆ්‍රෑන්ක් නමැති යුදෙව් යෞවනියගේ කතාව මුලු ලොවින්ම වසන් ව යන්නට තිබිණි. බිහිසුණු යුධ ගිනි තමන් වට කර ගනිද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වූ පරම්පරාවක අවසානය සනිටුහන් කරමින් සියක් වසක් ආයු වළඳා පසුගියදා ඈ මෙලොව හැර ගියා ය.


තම දිවි පරදුවට තබා වසර දෙකක් ඈන් සහ ඇගේ පවුල නාසින්ගෙන් සඟවා ගැනීමට මේ නිර්භීත කත සමත් වූවාය. එහෙත් අවාසනාවන්ත ලෙස නාසි අත් අඩංගුවට පත් වීමෙන් පසු මේ පවුල අවුස්විට්ස් සමූහ සිර කඳවුරට ගෙනයන ලදී. ඈන් දිනපතා කටු ගෑ ඈගේ දින පොතත් සුරැකිව තබගෙන ගීස් ඈ එනතුරු බලා සිටියා ය.එහෙත් ඈන් නැවත ආවේ නැත. වයස අවුරුදු 15දී බර්ගන්-බෙල්සන් හිදී ඈන් මෙලොව හැරගොස් තිබිණි.

බොහෝ කලකට පසුව ඈන්ගේ දිනපොත ග්‍රන්ථයක් ලෙස එලි දැකිවිණි. යුද්ධයේ කුරිරු බව තම අහිංසක දින සටහන් ඔස්සේ කියා පෑ ඈන් ෆ්‍රෑන්ක්ගේ කතාව ලෝ වැසියන්ගේ නෙත් කඳුලින් තෙත් කළේය. එය බයිබලයට පසුව ලොව වැඩිම පිරිසක් කියවූ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය විය.



මේ සියලු ප්‍රසිද්ධිය මධ්‍යයේ ගීස් මෙසේ කීවාය.
"බොහෝ දේ නැති වී ඇත. නමුත් දැන් ඈන්ගේ හඬ මිය නොයනු ඇත. මගේ කුඩා මිතුරිය ලොවට අගනා උරුමයක් දායාද කොට ඇත."
බොහෝ විට මාධ්‍ය හමුවේ ඈ ඒ අපූරු දරියගේ මතකයන් ගැන හඬ අවදි කළාය.නමුත් දිවි පරදුවට තබා තමන් කළ නිර්භීත කැප කිරීම ගැන ඇසූ විට සිනහ වෙමින් නිහතමානීව ඈ මෙසේ කීවාය. "මා වීරවරියක ලෙස හඳුන්වනවාට මම කැමති නෑ. මම කළේ මනුෂ්‍යයෙකු වශයෙන් මගේ යුතුකමයි."

නෙදර්ලන්තයේ ඇම්ස්ත්‍රඩැම් නුවර ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන.


වැදගත් සබැඳි:ලිපියේ මූලාශ්‍ර:

0 ප්‍රතිචාර:

Post a Comment