පියාසැරිය

Sunday, January 31, 2010

ගාන්ධිගේ අළු මුහුදට


ඉන්දීය නිදහස් අරගලයේ වැදගත් මෙහෙවරක් ඉටුකරපු මහත්මා ගාන්ධිගේ අළුවලින් කොටසක් දකුණු අප්‍රිකානු මුහුදු තීරයේදි ඊයේ (ජනවාරි 30) විසුරුවලා. මේක කරල තියෙන්නෙ ඔහුගේ මරණයේ 62 වැනි සංවත්සරය සනිටුහන් කරන්න.

සාමාන්‍යයෙන් හින්දු ආගමට අනුව පුද්ගලයෙක් මියගියාම ඔහුගේ අළු ජලයට එකතු කරන්න ඕන. නමුත් 1948 දි මහත්මා ගාන්ධි ඝාතනයට පස්සෙ ඔහුගෙ අළු නෑදෑ හිතවතුන් අතරෙ බෙදල දීල. තවමත් කීදෙනෙක් ළඟ මේ ඉතුරුවෙච්ච අළු තියෙද කියන එක නිශ්චිත නැහැ.

ඉතා චාම් විදියට පවත්වල තියෙන මේ උත්සවයෙදි විසිරවපු අළු ගාන්ධි පවුලට ලබාදීල තියෙන්නෙ ඔවුන්ගෙ ව්‍යාපාරික හිතවතෙක්. උත්සවයේ මුලසුන ගත්තෙ මහත්මා ගාන්ධිගේ මිණිපිරියවන දැනට දකුණු අප්‍රිකාවේ ජීවත්වෙන ඒලා ගාන්ධි (Elaa Gandhi). අළු විසුරුවලා තියෙන්නෙ ගාන්ධිගේ මුණුපුරෙක්.



අවිහිංසාවාදියෙක් ලෙස සැලකෙන ගාන්ධි 1948 ජනවාරි 30 වැනිදා රාත්‍රියේදී නව දිල්ලියේ ගමන් කරමින් ඉන්න අතරෙදි තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වුණා. පසුව ඒ තුවක්කුකරු හින්දු මූලධර්මවාදියෙක් ලෙසට හඳුනාගැනුණු අතර 1949 නොවැම්බර් මාසයේදී ඔහුට මරණ දඬුවම හිමිවුණා.

උත්සවයේ දර්ශන කිහිපයක් මේ වීඩියෝවෙන් බලාගන්න:
http://www.youtube.com/watch?v=MRtjS0sYLi8

ලෝක සිතියමේ දකුණු අප්‍රිකාව තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:
මහත්මා ගාන්ධි
ඉන්දීය නිදහස් අරගලය

ලිපියේ මූලාශ්‍ර:
http://en.wikinews.org/wiki/Gandhi_ashes_scattered_off_South_African_coast
http://news.bbc.co.uk/2/hi/south_asia/8486549.stm



ඉතිරිය කියවන්න...

Monday, January 25, 2010

කෙමිකල් අලීට මරණ දඬුවම


සදාම් හුසේන්ගේ ඥාති සහෝදරයෙකු ද ළඟම සහචරයෙකු ද වූ හසන් අල්-මජිඩ්ට මරණ දඬුවම නියම වෙලා. ඒ 1988 දී හලබ්යා නම් කුර්දිෂ් නගරයට විෂ දුම් ප්‍රහාරයක් එල්ල කිරීමට අණ කිරීම හේතුවෙන්.


යම් ගෝත්‍රවාදී නැගිටීමක් මර්දනය කරන්නට කළ මේ ප්‍රහාරය නිසා 5000කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. 1945 න්‍යෂ්ටික බෝම්බයෙන් පස්සේ රසායනික අවි භාවිතයෙන් කළ දරුණුම මානව සංහාරයක් ලෙස මෙය ඉතිහාස ගත වී තියෙනවා. මීට සුළු මොහොතකට කලින් වාර්තා වුණ හැටියට අල්-මජිඩ් හෙවත් කෙමිකල් අලීට හිමි මරණ දඬුවම අද ක්‍රියාත්මක වුණා.

ඉරාකය ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන.


වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:

ඉතිරිය කියවන්න...

ඈන් ෆ්‍රෑන්ක් ගේ කතාව රැක ගත් මීප් ගීස් මිය යයි

දෙවන ලෝක යුද සමයේ ඇම්ස්ට්‍රඩෑම් නගරයේ විසූ මීප් ගීස් නමැති ඕලන්ද ජාතික ගෘහණිය නොසිටින්නට ඈන් ෆ්‍රෑන්ක් නමැති යුදෙව් යෞවනියගේ කතාව මුලු ලොවින්ම වසන් ව යන්නට තිබිණි. බිහිසුණු යුධ ගිනි තමන් වට කර ගනිද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වූ පරම්පරාවක අවසානය සනිටුහන් කරමින් සියක් වසක් ආයු වළඳා පසුගියදා ඈ මෙලොව හැර ගියා ය.


තම දිවි පරදුවට තබා වසර දෙකක් ඈන් සහ ඇගේ පවුල නාසින්ගෙන් සඟවා ගැනීමට මේ නිර්භීත කත සමත් වූවාය. එහෙත් අවාසනාවන්ත ලෙස නාසි අත් අඩංගුවට පත් වීමෙන් පසු මේ පවුල අවුස්විට්ස් සමූහ සිර කඳවුරට ගෙනයන ලදී. ඈන් දිනපතා කටු ගෑ ඈගේ දින පොතත් සුරැකිව තබගෙන ගීස් ඈ එනතුරු බලා සිටියා ය.එහෙත් ඈන් නැවත ආවේ නැත. වයස අවුරුදු 15දී බර්ගන්-බෙල්සන් හිදී ඈන් මෙලොව හැරගොස් තිබිණි.

බොහෝ කලකට පසුව ඈන්ගේ දිනපොත ග්‍රන්ථයක් ලෙස එලි දැකිවිණි. යුද්ධයේ කුරිරු බව තම අහිංසක දින සටහන් ඔස්සේ කියා පෑ ඈන් ෆ්‍රෑන්ක්ගේ කතාව ලෝ වැසියන්ගේ නෙත් කඳුලින් තෙත් කළේය. එය බයිබලයට පසුව ලොව වැඩිම පිරිසක් කියවූ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය විය.


මේ සියලු ප්‍රසිද්ධිය මධ්‍යයේ ගීස් මෙසේ කීවාය.
"බොහෝ දේ නැති වී ඇත. නමුත් දැන් ඈන්ගේ හඬ මිය නොයනු ඇත. මගේ කුඩා මිතුරිය ලොවට අගනා උරුමයක් දායාද කොට ඇත."
බොහෝ විට මාධ්‍ය හමුවේ ඈ ඒ අපූරු දරියගේ මතකයන් ගැන හඬ අවදි කළාය.නමුත් දිවි පරදුවට තබා තමන් කළ නිර්භීත කැප කිරීම ගැන ඇසූ විට සිනහ වෙමින් නිහතමානීව ඈ මෙසේ කීවාය. "මා වීරවරියක ලෙස හඳුන්වනවාට මම කැමති නෑ. මම කළේ මනුෂ්‍යයෙකු වශයෙන් මගේ යුතුකමයි."

නෙදර්ලන්තයේ ඇම්ස්ත්‍රඩැම් නුවර ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන.


වැදගත් සබැඳි:ලිපියේ මූලාශ්‍ර:

ඉතිරිය කියවන්න...

Saturday, January 16, 2010

යුක්රේනෙත් ජනපති තෝරන්න මඩ වැසි

මේ දවස්වල ඡන්ද උණුහුම තියෙන්නෙ අපේ ලංකාවෙ විතරක් නෙවෙයි. යුක්රේනයේ ජනපතිවරණය පැවැත්වෙන්නෙ 2010 ජනවාරි 17 වැනිදා. මේ ලියන වෙලාවට අනුව නම් හෙට.

මේක 1991දි සෝවියට් දේශෙන් නිදහස ලැබුණට පස්සෙ පැවැත්වෙන පස්වැනි ජනාධිපතිවරණෙ. අපේක්ෂයකයන් 18 දෙනෙක් නාම යෝජනා බාර දීල තියෙනවා.

වික්ටර් යානුකොවිච්ජූලියා ටිමොෂෙන්කෝ


ලංකාවෙ වගේම යුක්රේනෙත් අපේක්ෂකයො මඩ ගහගන්න එක සාමාන්‍ය දෙයක්. lol ප්‍රධාන අපේක්ෂකයො දෙන්න වන වත්මන් ජනාධිපති වික්ටර් යානුකොවිච් (Viktor Yanukovich) සහ වත්මන් අගමැතිනී ජූලියා ටිමොෂෙන්කෝ (Yulia Tymoshenko) තමයි මේ අතරින් කැපිල පේන්නෙ. ටිමොෂෙන්කෝ කියන්නෙ යානුකොවිච් ඔස්ට්‍රියාවෙයි ඔස්ට්‍රේලියාවෙයි වෙනස අඳුරන්නෙ නැති මෝඩයෙක් කියල. mrgreen යානුකොවිච්ට අනුව ටිමොෂෙන්කෝ මැතිවරණ දවසෙ ප්‍රචණ්ඩ ක්‍රියා බර ගාණකට ලෑස්ති වෙලා ඉන්නෙ.
යානුකොවිච්ට සහය දැක්වීමට පවත්වන සංගීත ප්‍රසංගයක්


ඇත්තටම මේ මැතිවරණෙ ප්‍රචාරක කාල සීමාවෙදි සිදුවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා ගණන ඉතාම ඉහළ අගයක් ගන්නව කියලයි මැතිවරණ නිරීක්ෂකයන් කියන්නෙ. ජනමත විමසුම්වලට අනුව ජනතාවගෙන් 57%කගෙ (eek) අදහස ඡන්ද ප්‍රතිඵල දූෂිත වේවි කියල.

මේ අපේක්ෂකයො දෙන්නගෙන් දැනට නම් වැඩිපුර බර යානුකොවිච්ගෙ පැත්ත. ඒත් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි නිසා ජනාධිපති වෙන්න අවශ්‍ය 50%ක ප්‍රතිශතයක් ගන්න එක බොහොම අමාරුයි. එහෙම වුණොත් ඡන්දෙන් වැඩිම මනාප ගත්තු අපේක්ෂකයො දෙන්න අතර තවත් අවසන් ඡන්දයක් තියලයි ජනාධිපති පත් කරන්නෙ. මේ වැඩේ ලංකාවටත් හොඳයි නේද? වියදම තමයි පුරස්නෙ. confused

ලෝක සිතියමේ යුක්රේනය තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි
ලිපියේ මූලාශ්‍ර:


ඉතිරිය කියවන්න...

උමාරුට අමාරු නෑ - නයිජීරියානු ජනපති හඬ අවදි කරයි

නයිජීරියාවේ ජනාධිපති තුමා මීට දවස් 55කට කලින් විදේශ ගත වුණේ තමන්ගේ හදවත් රෝගයට ප්‍රතිකාර ලබාගන්න. ගියා ගියාමයි සති ගණනක් යනතුරු රට වැසියන්ට ජනාධිපති තුමා ගැන කිසිම ආරංචියක් දැන ගන්න ලැබුණෙ නෑ. පනස් අට වියැති ජනපති උමාරු යාර්'අඩුආගේ මේ අද්භූත අතුරුදහන් වීම නිසා ජනතාව දිනෙන් දින නොසන්සුන් වෙන්න පටන් ගත්තා. උප ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ට නිල වශයෙන් බලය පවරලා ගියෙත් නැති නිසා රට අරාජික වේයැ යි බොහෝදෙනා බය වුණා. ජනාධිපති තුමාගේ තත්ත්වය අසාධ්‍ය බව සමහර විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු දැනටමත් මියගොස් ඇතැයි කට කතා පැතිරුණා.

මේ අතරේ පසුගිය මාසේ ඉදිරිපත් කළ අ‍යවැයේ ඇත්තේ ජනපති තුමාගේ හොර අත්සනක් බව විපක්ෂය ප්‍රකාශ කළා. නොබෙල් ත්‍යාගලාභී ලේඛක වෝල් සොයින්කා පෙරටු කරගත් නයිජීරියානු ජනතාව "උමාරු ඔබ කොහිද?" අසමින් වීදි බැස උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා.

මේ අතර පසුගිය දා හදිසියේම මාස දෙකක නිහැඬියාව බිඳිමින් බීබීසිය හරහා දුරකතන ඇමතුමකින් ලොව ඇමතූ ජනපති උමාරු තමන් දැන් සුව වෙමින් සිටින බව ප්‍රකාශ කළා. "මම දැනටමත් ප්‍රතිකාර ලබමින් සුව අතට හැරෙමින් ඉන්නේ. ඉතා ඉක්මනින් සුවය ලබා නැවතත් මගේ වැඩ භාර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා" ඔහු පැවසුවා.

තෙල් සම්පතින් සපිරි, කවදත් නොසන්සුන් නයිගර් ඩෙල්ටාවට මේ පුනරාගමනයත් සමග නැවතත් සාමකාමී වාතාවරණයක් වෙත ළඟාවන්නට හැකි වෙයිද?

ලෝක සිතියමේ නයිජීරියාව තියෙන්නෙ මෙන්න මෙතන:
වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:


ඉතිරිය කියවන්න...

Thursday, January 14, 2010

හයිටිය සසල වෙයි

මේ දවස්වල පුවත් සේවාවල දවසෙම කතාවෙන මාතෘකාවක් තමයි හයිටියේ සිදුවුණු භූමිකම්පාව. රික්ටර් මාපකයෙ විශාලත්වය 7.0ක් ලෙස සඳහන් වුණු මේක සිදුවෙලා තියෙන්නෙ ජනවාරි 12වැනි බදාදා. හයිටියේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් (Port-au-Prince) වල ඉඳල කිලෝමීටර් 16ක දුරකින් තමයි කම්පාවෙ කේන්ද්‍රය පිහිටල තියෙන්නෙ. මේ නිසා සිදුවුණු හානිය ඉතා දරුණුයි.

තවමත් හරියටම සංඛ්‍යාලේඛන නැතත් දහස් ගණනක ජීවිත අහිමිවෙලා ඇති කියලයි කියන්නෙ. අගනුවර පුරාම ගොඩනැගිලි විනාශවෙලා. මේ අතරෙ එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලයත් කුඩේ කුඩු. ජනාධිපති මන්දිරයටත් ගොඩක් අලාබ හානි වෙලා, ඒත් ජනාධිපතිතුමා නම් නූලෙන් බේරිලා.

හයිටිය ලෝකෙ විවිධ තැන්වලින් ආපු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයින් 9000ක් පමණ ඉන්න රටක්. මේ අතරෙ ලංකාවෙන් ගියපු බර ගාණකුත් ඉන්නවා. ඒත් අපේ අයට නම් කරදරයක් නැහැ කියලයි ආරංචිය. කොහොමවුණත් බ්‍රසීල ජාතික සොල්දාදුවන් 4 දෙනෙක් මිය ගිහින්.

අගනුවර රෝහලුත් විනාශවෙලා නිසා තත්වය තවත් බරපතල වෙලා. වැඩි දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාරවත් ගන්න විදියක් නැතුව ඉන්නෙ. රතු කුරුස සංවිධානය ඇතුළු ගොඩක් රටවල් දැනටමත් ආධාර දෙන්න ලෑස්තිවෙලා.

ලෝක සිතියමේ හයිටිය තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:


ඉතිරිය කියවන්න...

Wednesday, January 13, 2010

චීනය අංක එකේ අපනයනකරු බවට පත්වෙයි

මෙච්චර කාලයක් ලෝකෙ අංක එකේ අපනයනකරු විදයට හිටියෙ ජර්මනිය. ඒත් ඔන්න දැන් ඒ තැන චීනෙට ඇවිල්ල.

ගිය අවුරුද්දෙ චීනෙ මුළු අපනයන ප්‍රමාණය 17.7% කින් වැඩි වෙලාලු. මේ අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2 ක්ලු. ට්‍රිලියන 1.2 ඉලක්කමෙන් ලියන්න දන්නව නම් ප්‍රතිචාරෙකුත් දාලම යන්න. lol

කොහොමින් කොහොම කිව්වත් තාම ජර්මනිය එයාලගෙ ගිය අවුරුද්දෙ වෙළෙඳාම ගැන අන්තිම වාර්තාව ඉදිරිපත් කරල නැහැ. පෙබරවාරි 9 වෙනිද ඒක ඉදිරිපත් කරනකං ටක්කෙටම කියන්න බැරිවෙයි කවුද හරියටම එක කියල. ඒත් පත්තර නම් කියන්නෙ චීනෙට ජය නියතයි කියල.

2008 අවුරුද්දෙ මැද ඉඳල චීනෙ තමන්ගෙ මුදල් ඒකකය වෙන යූ ආන් එකක අගය ගොඩක් අඩුවෙන් තියාගෙන ඉඳල තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ තමන්ගෙ අපනයන ඉහළ මට්ටමකින් පවත්වගෙන යන්නලු. ගොඩක් බටහිර රටවල් මේ වැඩේට කැමති නැහැ. ඒත් චීනෙ අගමැති වෙන් ජියාබාවෝ (Wen Jiabao) නම් කියන්නෙ යූආනය ගැන තීරණ වෙනස් කරන්න වෙන රටවලින් එන පීඩනයට බැහැ කියල.

වැදගත් සබැඳි:

මේ ලිපියේ මූලාශ්‍ර:


ඉතිරිය කියවන්න...

Monday, January 11, 2010

ආයුබෝවන්!

piyasariya
අපේ කට්ටිය ඉතින් ප්‍රවෘත්ති බලනවා, පත්තර කියවනවා බොහොම අඩුයිනෙ. ඉතින් රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියල දන්න අය ගොඩක් අඩුයි.

ඔන්න ඕකට විසඳුමක් දෙන්න තමයි පියාසැරිය පටන් ගත්තෙ. ලෝකෙ පුරා වෙන දේවල් බොහොම සරල බාසාවෙන්, බර වචන නැතුව දෙන්න තමයි බලාපොරොත්තුව.

මේකෙ පලවෙන ලිපිවලට කරුණු ගන්නෙ ඉතින් අන්තර්ජාලෙ තියෙන එක එක පුවත්පත් වලින්ම තමයි. ඒ නිසා හැම ලිපියකම ඒකෙ මූලාශ්‍රවල සබැඳිත් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වැඩිදුර කරුණු කාරණා දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ අයට තව විස්තර හොයාගන්න පුළුවන්. එහෙම අළුත් දෙයක් දැනගත්තොත් කාටත් යහපතක් වෙන්න ඒව කොමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා!

එහෙනම් ඉතිං සිංහල කියවන ඔබ හැමෝටම පියාසැරිය එක්ක එකතු වෙලා ලොව වටා නිදහසේ පියාසරන්න ආරාධනා!

ට්විටරයෙන් පියාසරන්න: http://twitter.com/piyasariya
ඔබේ අදහස් එවන්න: piyasariya@gmail.com

ඉතිරිය කියවන්න...